සරුභාවය පිළිබඳ සත්‍යය

“සරුභාවය” හෙවත් සරු බව, එසේත් නැති නම් ‘දරු පල ඇති බව’ යන්නෙහි තේරුම කුමක්ද? මෙහි තේරුම ස්වභාවිකවම (එනම්, වෛද්‍ය හෝ වෙනත් උපකාර නොමැතිව) දරුවන් පිළිසිඳ ගැනීමේ හැකියාවයි. යුවලකට ස්වාභාවික ලෙස […]

“සරුභාවය” හෙවත් සරු බව, එසේත් නැති නම් ‘දරු පල ඇති බව’ යන්නෙහි තේරුම කුමක්ද?
මෙහි තේරුම ස්වභාවිකවම (එනම්, වෛද්‍ය හෝ වෙනත් උපකාර නොමැතිව) දරුවන් පිළිසිඳ ගැනීමේ හැකියාවයි.

යුවලකට ස්වාභාවික ලෙස දරුවකු ලැබීමට නොහැකි විය හැකි අවස්ථා තිබේද?
ඔව්. මෙය “දරුපල නොමැතිකම”, “නිසරු බව”, “නිසරුභාවය” හෝ “අසාරත්වය” ලෙස හැඳින්වේ. (ඇතැම් අය විසින්, කුරිරු ලෙස, “වඳභාවය” යන වදන භාවිතා කරනු ලබන්නේද මෙම තත්ත්වය හැඳින්විමටමයි.) මෙය යුවලක් උපත් පාලන භාවිතා කිරීමකින් තොරව, නිතිපතා ලිංගික සංසර්ගයේ යෙදීමෙන් වුවද පිළිසිඳ ගැනීමක් ඇති නොවීමේ තත්ත්වයයි.

ඔබ වෛද්‍ය ආධාර ලබා ගත යුත්තේ කවර විටෙකද?
ඔබ දරුවකු පිළිසිඳ ගැනීමට උත්සාහ කිරීම අරඹා තවමත් ගත වී ඇත්තේ මාස 2 ක් හෝ 3 ක් පමණක් නම්, කලබල වීම අවශ්‍ය නැත. පොදු මග පෙන්වීම් පහත පරිදි වේ:

  • Ø අවුරුදු 35 ට වඩා අඩු කාන්තාවක් මාස 12 ක් තිස්සේ උපත් පාලන ක්‍රම භාවිතා නොකොට, කොන්ඩම් කොපුද නොපළඳා, නිතිපතා ලිංගික සංසර්ගයේ යෙදීමෙන් පසුවත් පිළිසිඳ ගෙන නැති නම්,
  • Øඅවුරුදු 35 ට වඩා වැඩි කාන්තාවක් මාස 6 ක් තිස්සේ උපත් පාලන ක්‍රම භාවිතා නොකොට, කොන්ඩම් කොපුද නොපළඳා, නිතිපතා ලිංගික සංසර්ගයේ යෙදීමෙන් පසුවත් පිළිසිඳ ගෙන නැති නම්,

වෛද්‍ය උපදෙස් පැතීම සුදුසු වේ. එකී කාලපරිච්ඡේදයේදී ඔබේ සරු බව දියුණු කර ගැනීමට ඔබ ස්වාභාවික ක්‍රම භාවිතා කිරීම වැදගත් වේ.

දරුපල නොමැතිකම කාගේ වරදක්ද?
සාම්ප්‍රදායිකව, දරුවන් නොමැතිකමේ දෝෂය දැරීමට කාන්තාවට සිදු වී තිබේ. වෛද්‍ය පරීක්ෂාවන් පැමිණීමට පෙර යුගයේදී, යම් සාධාරණ කාලපරිච්ඡේදයකින් පසුව, ගර්භනීභාවය ඇති නොවිණි නම්, එය ඇයගේ දරුපල නොමැතිකම හෙවත් නිසරුභාවය නිසා යැයි සැලකුණි. කෙසේ වුවද, දරුපල නොමැතිකම කාන්තාවට පමණක් සීමා වූ දෙයක් නොවන බවත්, පිරිමින්ටද දරුපල නොමැතිකම තිබිය හැකි බවත් ඔප්පු කර තිබේ.

කාන්තාවන්ගේ දරුපල නොමැතිකමට හේතු කීපයක් පහත දැක්වේ:
1. හෝමෝන ගැටළු: හෝමොනයක් නිර්වචනය කළ හැකි පහසුම ක්‍රමය නම්, එය ශරීරයේ රසායනික පණිවුඩකරුවන් යැයි පැවසීමයි. ඒවා රුධිර ප්‍රවාහය තුළින් පටක හා අවයව වෙත ගමන් කරයි. හෝමෝනවල අසාමාන්‍යතා ඇති විට, බොහෝ අහිතකර ප්‍රතිඵල ඇති විය හැකිය. පරිණත (මේරූ) ඩිම්බ (ස්ත්‍රී ප්‍රජනක ශෛල) නිපදවීමට නොහැකි වීම එහි වඩාත් සුලභ ප්‍රතිඵලයයි. සාමාන්‍යයෙන් සිදු වන්නේ පිරිමි ශුක්‍රානුවක් (පුරුෂ ප්‍රජනක ශෛලයක්) මගින් ස්ත්‍රී ඩිම්බයක් සංසේචනය (කළලයක් වර්ධනය කළ හැකි සේ පෝෂිත) වීමයි. එහි තේරුම නම්, ඩිම්බය හා ශුක්‍රානුව එක් වී, එක් තනි ශෛලයක් පත් වී, දරුගැබ තුළ මාස 9 ක් තිස්සේ වර්ධනය වී දරුවකු බවට පත් වන බවයි. කාන්තාවගේ ඩිම්බ පූර්ණ වශයෙන් පරිණත වී නැති නම්, ඒවාට සංසේචනය වීමේ හැකියාව නැත.

2.හානි සිදු වූ ඩිම්බකෝෂ: ඩිම්බ කෝෂ යනු ස්ත්‍රී ප්‍රජනන ශෛලය වන ඩිම්බයක් නිෂ්පාදනය කරන ස්ථානයයි. මනුෂ්‍ය ස්ත්‍රියට ශරීරය තුළ දෙපස පිහිටන ඩිම්බ කෝෂ 2 ක් ඇත. ඩිම්බ කෝෂවලට ශාරීරික හානියක් සිදු වී ඇති නම්, එමගින් ඩිම්බ නිකුත් කිරීම අසාර්ථක, අඩපණ හෝ අක්‍රීය විය හැකිය. ඉන් අදහස් වන්නේ ඩිම්බයක් නිකුත් නොකෙරෙන බවයි.

3.අකල් ආර්ථවහරණය: ආර්ථවහරණය යනු කාන්තාවකගේ ඔසප් වීම (හෙවත් මාස් ශුද්ධිය – ‘මෙන්සස්’) සදහටම නැවතීමයි. එහිදී සැබැවින්ම සිදු වන්නේ, ඩිම්බ කෝෂ ක්‍රියාකාරිත්වය නැති වී, මාසික ඔසප් වීමේ චක්‍රය නැවතීමයි. සාමාන්‍යයෙන්, වයස අවුරුදු හතලිස් ගණන්වල අග හෝ 50 ගණන්වල මුල ආර්ථවහරණය ඇති වේ. එනමුත් ඉතා කලාතුරකින්, ඊට වඩා අඩු කාන්තාවන්ටද ආර්ථවහරණය සිදු විය හැකිය.

4.පැලෝපීය නාල තුළ ආසාදන ඇති වීම: ඩිම්බ කෝෂවල සිට ගර්භාෂය දක්වා ඩිම්බය ගමන් කරන පැලෝපීය නාල 2 ක් තිබේ.

5. පෙර කර ඇති ශල්‍යකර්ම ශ්‍රෝණියේ හෝ උදරයේ කළ ශල්‍යකර්ම මගින් පැලෝපීය නාලවලට හානි සිදු වීම නිසා, ඩිම්බවලට ගමන් කළ නොහැකි වීමට ඉඩ තිබේ.

6. බහිෂිකේතනක ගර්භණීභාවය. මෙය පැලෝපීය නාල තුළ කළලය වර්ධනය වීමයි. එහිදී කළලය ඉතා සුපරීක්ෂාකාරී ලෙස ඉවත් කළත්, නාලවලට හානි සිදු විය හැකිය.

පිරිමින්ගේ දරුපල නොමැතිකමට හේතු කීපයක් පහත දැක්වේ:
අඩු ශුක්‍රානු සංඛ්‍යාංකය (ඔලිගොස්පර්මියා – අල්පබීජාණුතාව). ශුක්‍ර තරලය මිලිලීටර් එකක ඇති ශුක්‍රාණු සංඛ්‍යාව කෝටි 2 ට වඩා අඩු නම්, එය අඩු ශුක්‍රාණු සංඛ්‍යාවක් ලෙස පොදුවේ සැලකේ. ශුක්‍ර ගමන් මාර්ගයේ අවහිර වීමක්, රෝගාබාධ හෝ වයස ශුක්‍රාණු සංඛ්‍යාවට බල පෑ හැකිය. ශුක්‍ර තරලයේ ශුක්‍රාණු ඇත්තේම නැති පිරිමින්ද සිටිය හැකිය. මෙය ඒසූවස්පර්මියා – අවිබීජාණුතාව නමින් හැඳින්වේ.

දුර්වල ශුක්‍රාණු සංචලතාව (ඇස්තනොස්පර්මියා – අධෝබීජානුතාව). සංචලතාව යනු තනිව චලනය වීමේ හැකියාවයි. වඩාත් සාර්ථක ශුක්‍රාණු වන්නේ වේගවත්ම ඒවා මෙන්ම, සරල රේඛීය ලෙස (කෙළින්) ගමන් කරන ඒවාය.

ශුක්‍රාණුවලින් භාගයකට වඩා මන්දගාමීව ගමන් කරයි නම් හෝ සරල රේඛාවක් ඔස්සේ ගමන් කරන්නේ නැති නම්, එවිට එය අඩු ශුක්‍රාණු සංඛ්‍යාංකයක් ලෙස සැලකේ.

අසාමාන්‍ය ශුක්‍රාණු රූපාකාරය (ටෙරාටොස්පර්මියා – බීජාණුවිරූපතාව). මෙසේ හැඳින්වෙන්නේ අසාමාන්‍ය හැඩයක් ගන්නා ශුක්‍රාණුවලටය. අසාමාන්‍ය හැඩයක් හෝ ව්‍යූහයක් ඇති ශුක්‍රාණුවකට සාර්ථක ලෙස ඩිම්බයක් සංසේචනය කිරීමේ හැකියාව නැත.

අධික ලෙස තදබල ව්‍යායාම. අධික ව්‍යායාම නිසා, ටෙස්ටෙස්ටරොන් හෝමෝන ඌණතාව ඇති කිරීමේ සමත් අධිවෘක්කීය ස්ටෙරොයිඩ හෝමෝන ඉතා ඉහළ ප්‍රමාණයක් ඇති විය හැකිය.

තද යට ඇඳුම් ඇඳ සිටීම හා උණුසුම් පරිසරයක් තුළ දීර්ඝ කාලයක් සිටීම මෙමගින් වෘෂණ කෝෂවල උෂ්ණත්වය ඉහළ ගොස් එහි ප්‍රතිඵලයක් ලෙස ශුක්‍රාණු නිෂ්පාදනය පහළ යයි. මනුෂ්‍යයින් සඳහා ප්‍රශස්තතම වෘෂණ කෝෂ උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ක් (ෆාරන්හයිට් අංශක 95 ක්) පමණ වේ. එය සාමාන්‍ය ශරීර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 2 ක් (ෆාරන්හයිට් අංශක 3.6 ක්) අඩුය.

ඉහත ලැයිස්තුව කිසිසේත් සියල්ල අඩංගු එකක් නොවේ. එහි ඇතුළත් වන්නේ වඩාත් සුලභ හේතුවලින් සමහරකි.
වයස සරුභාවය කෙරෙහි බලපෑ හැකිද? ඔව්. වයස දරුපල කෙරෙහි බලපාන වැදගත් සාධකයක් වන අතරම, එය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම පොදු සාධකයකි.

ස්ත්‍රී වයස:
කාන්තාවන්ගේ සරුභාවය අවුරුදු 20 ගණන්වල මුල් භාගයේ ඉහළම මට්ටමේ පවතින අතර, වයස අවුරුදු 35 න් පසු එය පහළ යයි. කාන්තාවන් සාමාන්‍යයෙන් වයස අවුරුදු 40 ගණන්වල අග භාවයේ හෝ 50 ගණන්වල මුල භාගයේදී ආර්ථවහරණයට පැමිණෙති.
පුරුෂ වයස:
පිරිමින්ගේ වයස වැඩි වන විට ශුක්‍ර ධාතු පරිමාව, ශුක්‍රාණුවල සංචලතාව සහ ශුක්‍රාණු රූපාකෘතිය වැනි සාධක අඩු වී යයි.

ජීව්‍ය ගර්භනීභාවයක් ඇති වී දරු ප්‍රසුතියක් සිදු වුවත්, මවගේ හෝ පියාගේ අධික වයස දරුවාගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑ හැකි බවත්, එමගින් ඩවුන්ගේ රෝගය, බුද්ධිහීනතාව, භින්නෝන්මාදය වැනි තත්ත්වයන්ට මග පෑෙදන බව සිහි තබා ගත යුතුය.

පිරිමින්ගේ මෙන්ම කාන්තාවන්ගේ සරුභාවයට අහිතකර ලෙස බලපාන වෙනත් විවිධ සාධක:දුම්පානය
අධික ලෙස කැ‍ෆේන් ගැනීම (මෙය කෝපිවල සුලභව ඇති රසායනිකයකි.)

  • වාහනවලින් පිට වන වාතය
  • එම්.එස්.ජී. රස වර්ධකය
  • ආලේප තීන්ත, පලිබෝධ නාශක ආදී රසායනවලට නිරාවරණය වීම

නිසරුභාවය හඳුනා ගත හැක්කේ කෙසේද?
වෛද්‍යවරයා මුලින්ම යුවලගේ අතීත ජීවිතය ගැන විමසනු ඇත. ඉන් පසුව ශරීරය පරීක්ෂාවට ලක් කරනු ලැබේ. එයින් අනතුරුව මූලික පරීක්ෂණ 3 ක් සිදු කරනු ලැබේ. මෙම පරීක්ෂණ නම්:

  • - සැමියාගේ ශුක්‍රානු සංඛ්‍යාව සහ සංචලතාව පරීක්ෂා කරන ශුක්‍ර තරල විශ්ලේෂණයක්;
  • - බිරිඳගේ රුධිරය තුළ අවශ්‍ය මට්ටමින් අවශ්‍ය හෝමෝන වර්ග තිබේදැයි පරීක්ෂා කරන රුධිර පරීක්ෂණයක්; සහ
  • - බිරිඳගේ ගර්භාෂය හා නාල සාමාන්‍ය ලෙස පවතින්නේද යන්න තහවුරු කර ගැනීමට ගන්නා එක්ස් කිරණ ඡායාරූපයක් (හිස්ටරෝසැල්පිංගෝග්‍රෑම්)

දරුවකු නොමැතිකම සඳහා වරද සිරිතක් වශයෙන් කාන්තාව මත පැටවීමේ ප්‍රතිවිපාකයක් වශයෙන් කාන්තාව බොහෝ වාර ගණනක් පරීක්ෂා කළත් පිරිමියා එක් වරක් හෝ පරීක්ෂාවට ලක් කරනු නොලැබූ දරුවන් නොමැති යුවතිපතීන් බොහෝ දෙනෙක් සිටිති. යුවතිපතීන් දෙදෙනාම පරීක්ෂාවන්ට ලක් වීමේ වැදගත්කම කියා නිම කළ නොහැකිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>