සිසේරියන් සැත්කමෙන් පසුව…

වෛද්‍ය වෘත්තිකයින් බොහෝ විට සිසේරියන් සැත්කම හඳුන්වන්නේ පහළ ඛණ්ඩ සිසේරියන් සැත්කම (එල්.එස්.සී.එස්.) යනුවෙනි. මෙය ගැබිණියගේ යටි බඩේ සහ ගර්භාෂයේ ඉදිරි කොටසේ කැපුමක් සිදු කිරීමෙන් දරුවා බිහි කිරීමේ ශල්‍ය කර්මයකි. සිසේරියන් […]

cesareanවෛද්‍ය වෘත්තිකයින් බොහෝ විට සිසේරියන් සැත්කම හඳුන්වන්නේ පහළ ඛණ්ඩ සිසේරියන් සැත්කම (එල්.එස්.සී.එස්.) යනුවෙනි. මෙය ගැබිණියගේ යටි බඩේ සහ ගර්භාෂයේ ඉදිරි කොටසේ කැපුමක් සිදු කිරීමෙන් දරුවා බිහි කිරීමේ ශල්‍ය කර්මයකි.

සිසේරියන් සැත්කමේ ඉතිහාස කථාවේ, රෝමානු පාලකයින් විසින් පනවනු ලැබූ ‘ලා සිසේරියා’ නමැති නීතියකට අනුව මව මිය ගොස්, කුසේ සිටින දරුවා තවමත් පණ ඇතිව සිටී නම්, ඇගේ කුස කපා, දරුවා පිටතට ගෙන, දරුවාගේ ජීවිතය රැකිය යුතුය (ප්‍රාණාරක්ෂක රීතිය).

වර්තමාන විද්‍යාත්මක දැනුම අනුව, උත්පත්ති මාර්ගය හරහා දරුවා ප්‍රසූත කිරීම දරුවාට හෝ මවගේ ශ්‍රෝණියට අන්තරායකර වන්නේ නම්, නිපුන ශල්‍ය වෛද්‍යවරයකු විසින් සිදු කරනු ලබන ආරක්ෂාකාරී ශල්‍ය කර්මයක් තුළින් උදරය හරහා දරුවා බිහි කිරීම ආරක්ෂිත ක්‍රමයකි.

සිසේරියන් සැත්කමකට පසුව ඔබට කුමක් දැනේවිද?

සිසේරියන් සැත්කම නිසා ඔබට තුවාල දෙකක් ඇති වේ. ඉන් එකක් උදරයේද, අනෙක ගර්භාෂයේද ඇති වේ. ශාරීරිකව මෙන්ම මානසිකව මෙය සුව වීමට කාලය අවශ්‍ය ය. සමහර කාන්තාවන්ට අප්‍රසන්න අත්දැකීමක මනෝවිද්‍යාත්මක බලපෑම් ඇති විය හැකි ය.  මූලික වශයෙන් ඔබට පහත ලක්ෂණවලින් සමහරක් දැනෙනු ඇත.

  • අධික වෙහෙස සහ තද නිදිමත
  • ඔක්කාරය
  • සමහර කාන්තාවන්ට මුළු ඇඟම කසන ගතිය දැනිය හැකිය.
  • ශල්‍ය කර්මය සිදු කළ ස්ථානයේ වේදනාව

මෙම සමහර ලක්ෂණ වේදනාව සමනය කිරීමට දුන් ඖෂධ නිසාද, තවත් ඒවා ශල්‍ය කර්මය අවස්ථාවේ දෙන ලද නිර්වින්දක නිසාද ඇති වූ අතුරු ඵලයන් විය හැකිය.  හිසරදය සහ කොන්දේ වේදනාව කශේරුක නිර්වින්දන ලබා දීමෙන් පසුව සුලභව ඇති වේ. කෙසේ වුවද, ඔබට තිබෙන කවර හෝ දුෂ්කරතාවක් ගැන වුවද ඔබේ වෛද්‍යවරයාට පැවසීම ප්‍රයෝජනවත් විය හැකිය.

සාමාන්‍ය තත්ත්වයට පත්වීමට කොපමණ කාලයක් ගත වේද?

ගැඹුරු කැපුමක් ඇති නිසා, සියලුම පටක සුව වීමට සති 6 ක් පමණ ගත වනු ඇත. මෙම කාලය තුළ, සෙමෙන් ඇවිදීම සහ ඔබගේ සහ ඔබේ අළුත උපන් දරුවාගේ මූලික කටයුතු කිරීම වැනි ක්‍රියාකාරකම් කළ හැකිය.  එසේ වුවත්, සම්පූර්ණයෙන්ම සුව වන තෙක් පහත ඒවා වැනි බර වැඩ නොකර සිටීම යහපත්ය.

  • ව්‍යායාම කිරීම
  • බරැති දේ ඔසවා ගෙන යාම
  • වාහනයක් පැදවීම

සුව වීමට ඉවහල් වන සේ ඔබ කළ යුත්තේ මොනවාද?

  • ඔබේ ඖෂධ නියමිත වේලාවටම ගන්න. ඔබ රෝහලින් පිටව යාමට පෙර, ඔබට ලබා ගැනීමට වේදනා නාශක ඖෂධ සහ අවශ්‍ය නම් ප්‍රතිජීවක ඖෂධ දෙනු ඇත.  ඒවා නිසි ලෙස ගැනීම අවශ්‍යය. නැති නම්, ඔබ දරුවාගේ කටයුතු කිරීමට උත්සාහ කරන විට, වේදනාව ඔබ දුෂ්කරතාවට පත් කරනු ඇත.  ඇතැම් විට ඔබට වේදනාව නිසා ඇති වන මානසික බලපෑම්ද ඇති වීමට ඉඩ තිබේ.
  • ඔබේ ශරීරයේ ක්‍රියාකාරිත්වයන් ඔබට සාමාන්‍ය ලෙස සිදු කිරීමට නොහැකි වුව හොත්, ඒ ගැන භීතියට පත් වෙන්න එපා.  බොහෝ කාන්තාවන්ට මුත්‍ර සහ මළ පහ කිරීම දුෂ්කර වේ. මුත්‍ර මාර්ගයට ඇතුළු කරන ලද කැතීටර නලයක් නිසා මෙන්ම, ලබා දෙන ඖෂධ නිසාද මෙය සිදු වේ. වෛද්‍යවරයා විසින් මලබද්ධයට පිළියම් වශයෙන්, වාත නාශක ඖෂධ සහ යෝනි හෝ ගුද මාර්ගික ඖෂධ (උපස්ථාපිතක) නියම කරනු ලැබිය හැකිය. මුත්‍ර පහ කිරීමට උපකාරී වනු පිණිස, ඔබට ජලය ගලා යන හඬ ඇසෙන සේ ජල කරාමයක් (ටැප්) ඇර තබන්න. වැසිකිලියේ වාඩි වී සිටින අතරේ, බීම බටයකට (ස්ට්‍රෝ) කට තබා පිඹින්න. දියර ආහාරමය සහ කෙඳි සහිත ආහාර බොහෝ ගැනීම සහ නිතිපතා වැසිකිලි යාම ප්‍රයෝජනවත් විය හැකිය.
  • ඇවිදින්න. ඔබට දැනෙන දැඩි වෙහෙස හා වේදනාව සලකා බලන කළ, හැකි තරම් දිගු කාලයක් ඇඳේ වැතිරී සිටීමට ඔබට සිතෙනු ඇත. එහෙත් ශල්‍ය කර්මයෙන් හැකි තරම් කෙටි කාලයකට පසුව, නැගිට සෙමෙන් ඇවිදීම මගින්, යථා තත්ත්වයට පත්වීම පහත ආකාරවලින් පහසු කෙරෙන බව ඔප්පු වී තිබේ.
    • ලේ කැටි (ශරීරයේ පහළ රුධිර නාලවල ලේ කැටි) ඇති වීමේ ඉඩකඩ අඩු කෙරේ.
    • මළ පහ වීමට උපකාරී වේ.
    • රුධිර සංසරණය වර්ධනය කෙරේ.

ඔබමොබ යාමේ නිදහස සැබැවින්ම බොහෝ මව්වරුන් සතුටට පත් කරයි. කෙසේ වුවද, ඔබට කරකැවිල්ලක් හෝ දුර්වල ගතියක් දැනුන හොත් උදවු වනු පිණිස, අසල යමකු තබා ගැනීමට වග බලා ගන්න.

  • අමතර කොට්ටා සූදානම්ව තබා ගන්න. ඔබ චලනය වන විට ඔබේ කැපුම වේදනා දෙනු ඇත. ඔබ කහින, කිවිසින හෝ කවර හෝ ක්ෂණික සෙලවීමක් කරන අවස්ථාවක කොට්ටයක් වැළඳ ගෙන එය කිරීමෙන්, එහිදී දැනෙන වේදනාව අඩු කර ගත හැකිය. එසේ කරනුයේ ප්‍රධාන වශයෙන්ම, උදර පේශිය මත ඇති වන පීඩනය අඩු කිරීමටය.
  • සමබර ආහාර වේලක් පවත්වා ගන්න. සිසේරියන් සැත්කමට පසුව ඔබට මුලින් දියර වර්ග ලබා දී පැය 8කට පසුව සැහැල්ලු ආහාර වේලක් ලබා දෙනු ඇත. ඉන් පසුව එළවළු සහ පලා වර්ග ඇතුළත් ආහාර ගන්නා බවටත්, ජලය බහුලව පානය කරන බවටත් වග බලා ගන්න.  ඔබට මළබද්ධය ඇති වේ නම්, ආහාර වේලට පෙර පැපොල් (ගස්ලබු) වැනි පළතුරු ආහාරයට ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත.

සිසේරියන් සැත්කමකට පසුව මව්කිරි දීම කළ හැකිද?

  • ඔව්. ඔබට සිසේරියන් සැත්කමකට පසුව දරුවාට මව්කිරි දිය හැකිය. ඔ‍බේ ඖෂධ ගැනීම මග හරින්න එපා. ප්‍රතිජීවක සහ ‍වේදනා නාශක ඖෂධ මව්කිරිවලට ගමන් කරන බව සැබෑවකි. එ‍හෙත් පළමු දින කීප‍ය තුළ නිප‍ද‍වෙන මව්කිරි ප්‍රමාණය ඉතා අඩුය. එම නිසා ප්‍රතිජීවක සහ ‍වේදනා නාශක ඖෂධ මව්කිරිවලට එක් වන්‍‍නේ ඉතා සුළු ප්‍රමාණයකි.  එම නිසා, ඔ‍බේ දරුවා විසින් පරි‍භෝජනය කරනු ලබන ඖෂධ ප්‍රමාණය ‍නොසලකා හැරිය හැකි තරම් කුඩා ප්‍රමාණයකි.  ඔබ ඖෂධ ‍ගැනී‍මෙන් වැළකී සිටීමෙන් සංකූලතාවන් ඇති වන නිසා එහි වාසිවලට වඩා අවාසි වැඩි ය.
  • සිසේරියන් සැත්කමකට පසු සුලභ ගැටළුවක් වන්නේ, කිරි ගලා ඒමට සැලැස්වීම දුෂ්කර වීමයි. එවිට ඉවසන්න. කිරි නිෂ්පාදනය උත්තේජනය කිරීමට, හැකි තරම් ඉක්මණින් බබාගේ මුව (කට) පියයුර මත තබන්න. ඔබට අපගේ වෙබ් අඩවියේ මව් කිරි දීම පිළිබඳ කොටසෙන්, මව් කිරි දීම පිළිබඳව තවත් දේ ඉගෙන ගත හැකිය.
  • කිරි දීම සඳහා, ඔබගේ කැපුම මත පීඩනයක් ඇති නොවන හොඳ ඉරියව්වක් සොයා ගැනීම ඉතා වැදගත් වේ. සිසේරියන් සැත්කමකට භාජනය වූ මවුවරුන්ට සාමාන්‍ය ලෙස තුරුළු කර ගෙන කිරි දෙන ඉරියව්ව සාර්ථක නොවීමට ඉඩ ඇත.  මෙම ඉරියව්ද අත්හදා බැලිය හැකිය:-

පැත්තට වැතිරෙන ඉරියව්ව: ඔබ මෙන්ම ඔබේ ළදරුවාද පැත්තට හැරී, මුහුණට මුහුණ ලා වැතිරිය යුතුය.

පාපන්දු ග්‍රහණය: පුටුවක ඍජුව වාඩි වන්න. බබා ඔබේ බාහුව සහ ඇලපත අතර කොට්ටයක් මත තබා ගන්න. මෙහි අරමුණ දරුවාගේ සිරුර ඔබේ උකුළ මත රැඳීම වළක්වා, ඔබේ බාහුව යට රැඳවිමයි.

මව් කිරි දීමේ ක්‍රම පිළිබඳව තවත් දේ කියවන්න.

මා වෛද්‍ය ආධාර ලබා ගත යුත්තේ කුමන අවස්ථාවේදීද?

ඔබට පහත දැක්වෙන අපහසුතාවලින් කුමක් හෝ ඇති වේ නම් වහාම වෛද්‍ය ආධාර ලබා ගන්න.

  • කැපුම් ප්‍රදේශයේ රශ්නය, රතු වීම, ඉදිමුම හෝ දියර ශ්‍රාවය වීම දක්නට ලැබීම.
  • ඔබේ යටි බඩ, ගෙල, කකුල හා පපුව යන ස්ථානවල හෝ අන් කවර හෝ ස්ථානයක ක්ෂණික හෝ අසාමාන්‍ය වේදනාව.
  • උණ වර්ධනය වීම.
  • මුත්‍ර පිට කිරීමේදී අපහසුව, වේදනාව, දැවිල්ල හෝ මුත්‍රාවල අසාමාන්‍ය වර්ණය.

වඩාත්ම වැදගත් දෙය වන්නේ සැහැල්ලු හා සුවපහසු ලෙස කටයුතු කිරීමයි. ඔබ බැරෑරුම් ශල්‍යකර්මයකට මුහුණ දී සිටින බව අමතක කරන්න එපා. ඔබට විශාල වේදනාවක් හා වෙහෙසක් දැනේවි. එම නිසා, ‘සුපිරි මවක්’ වීමට උත්සාහ කරන්න එපා. ඔබගේ සැමියා, වෙනත් පවුලේ සාමාජිකයින්, ඥාතීන් හා මිතුරන් වෙතින් හැකි තරම් උපකාර ලබා ගන්න. උදව් ලබා ගැනීම ගැන ලජ්ජා වෙන්න එපා.

සැමියකු වශයෙන්, සිසේරියන් සැත්කමකට භාජනය වූ ඔබගේ බිරිඳට උපකාරී විය හැක්කේ කෙසේද?

  • ‍රෝහ‍ලේ සිට ආපසු එන ගමනේදී, වල ‍ගොඩැලි මග හරිමින් ‍සෙ‍මෙන් රිය පදවන්න.  ඔ‍බේ බිරිඳ ශල්‍යකර්මයකට භාජනය වී ඇති බැවින්, සෑම ගැස්සීමක්ම ඇයට ‍වේදනාකර ‍වනු ඇත.
  • ඇයට ඇඳට නැගීමට උපකාරී වීමට ‍කොට බංකුවක් සපයා ගන්න.  සිසේරියන් සැත්කමකට පසුව උදර ‍පේශි භාවිතා කිරීම ඉතා ‍වේදනාකාරී විය හැකිය. දින කීපයක් යන තුරු, සියළුම නැමීම් හා පහත් වීම්වලින් වැළකිය යුතුය. අඩිය තබා ඇඳට නැගීමට බංකුවක් තැබී‍මෙන්, ඇයට අඩු ආයාසයකින් ඇඳට නැගීමට හැකි වනු ඇත.
  • ඇය වාඩි වන පුටුව, ‍සෝපාව ‍හෝ අන් කුමන ‍දෙයක් මතට වුවද, ‍කොට්ටා දමා සකසන්න. ‍මෙහි අරමුණද ඇය වුවමනාවට වඩා නැමීම වැළැක්වීමයි. සාමාන්‍ය පුටුවක වාඩි වන විට ඔබට සිරුර නැමීමට සිදු ‍වේ. ශල්‍යකර්මයකට පසුව කාන්තාවකට මෙය ඉතා ‍වේදනාකාරී ‍වේ. එනිසා, ආසනය කුෂන් ‍හෝ ‍කොට්ටා දමා එසවී‍මෙන්, ඇයට එතරම් ‍නො‍නැ‍මී වාඩි වීමට උපකාරී ‍වේ.
  • ඔ‍බේ බිරිඳ අධික ‍ලෙස විඩාවට පත් ‍වේවි.  එම නිසා, සුපරීක්ෂාකාරී වන්න. හැකි තරම් ඇයට ‍ගෙදර ඇවිදීමට හා දරුවා‍ගේ කටයුතු කිරීමට උපකාර වීමට උත්සාහ කරන්න.  සමහර අවස්ථාවලදී, යම් සුළු කම්පා වීමක් දක්නට ලැ‍බේවි. එය ප්‍රසුති‍යෙන් පසු ඇති වන මානසික පීඩනය නිසා විය හැකියි. චිත්ත ස්වභාවය ‍වෙනස් වීම සුලභ නිසා ඒ ගැන කරදර ‍නොවන්න.
  • සාමාන්‍ය දරු උපතක් ‍හෝ සිසේරියන් සැත්කමක් වුවද, ප්‍රසූතියෙන් පසු මවකට සාමාන්‍යයෙන් මානසික ස්වභාව‍යේ ක්ෂණික ‍වෙනස් වීම් ඇති වීම ස්වාභාවිකය.  ඇයව ‍තේරුම් ‍ගෙන එම තත්ත්ව‍යේදී උපකාරී වන්න. කෙසේ වුවද, ඔ‍බේ බිරිඳ ඉතා තදබල චිත්ත පීඩාවකින් ‍පෙ‍ළෙන බව ඔබ සිතන්නේ නම්, ඔබට ඇය උපතෙන් පසු ඇති වන විශාදය පවතින්නේද යන්න නිසැකව දැන ගැනීමට, ‍වෛද්‍යවරයා මුණ ගැසීම කළ හැකිය.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>